468x60 Ads

Thursday, August 23, 2012

රාවණා රජු

'
 
 
 රාවණා සමයේ අතිශය දියුණු කෝච්චි භාවිතා කර තිබූ බව හෙළි වෙයි.

සුද්දන් විසින් හැදූ රේල් පීලි ටිකවත් දික් කර ගැනීමට නොහැකිව උඩ බලාගෙන සිටින නිවට ජාතියක් සේ අද අපි උකටලීව බලා සිටිමු. ඒත් රාවණ සමයේ සිටි අපගේ මුතුන් මිත්තන් වූ හෙළුවෝ ඈත ආකාසයේ දිස් වෙන චක්‍රාවාට වලට ගොස් සිංහනාද පවත්වා ඒවා තම අණසකට ලක් කරද්දී හෙළදිව සුර පුරයක් ලෙස තෙදින් වැජඹුන හැටි ඔබ මීට පෙරත් අරිසෙන් අහුබුදු සූරීන් ඇතුළු හෙළ හවුළේ වියතුන්ගේ පර්යේෂණ පත්‍රිකා වලින් කියවා ඇති. එසේනම් එවන් ශ්‍රේෂ්ට ජාතියකට අතිශය දියුණු ප්‍රවාහන පද්ධතියක් තිබුණ බවත් අරුමයක් නොවේ. මෑතකදී පුරාවිද්‍යා කැණීම් වලින් හමුවූ ආකාරයට එතෙක් මෙතෙක් ලෝකයේ තිබූ කෝච්චි වලට වඩා අතිශය දියුණු කෝච්චි, රාවණ රජතුමාගේ ලංකාපුර රාජධානියේ තිබී ඇති බව දැනගත්තොත් ඔබ පුදුමයට පත් වේවි. වර්ගපූර්ණිකාවේ බ්ලොගයේ මේ ලිපිය දිවෙන්නේ අපෙන් සැඟවූ ඒ රාවණ තාක්ෂණය සොයමිනි.
මීට මාසයකට පමණ පෙර පෙට්ටිපොළ ප්‍රදේශයේ ඉතාමත් රහසිගතව කරන ලද කැණීමකදී ඉපැරණි ලෝහමය වස්තුවක් හමු විය. එය දිගින් අඩි 40 ක් පමණ වන අතර පළලින් අඩි 10 ක් පමණ සහ උසින්ද අඩි 10 පමණ විය. එය ඇතුළත කුහරයකි. ඒ පිළිබඳව කරන ලද පර්යේෂණ වලින් පැහැදිළි වී ඇත්තේ එය කෝච්චි මැදිරියක් බවයි. වැඩිදුරටත් පෙට්ටිපොළ ප්‍රදේශයේ කරන ලද ස්කෑන් කිරීම් වලදී පැහැදිළි වූයේ එවන් වස්තූන් තිහක් පමණ පොළොව අභ්‍යන්තරයේ මීටර් 400 කට පමණ යටින් ඇති බවයි.

අවසානයේදී එම කෝච්චි පෙට්ටිය කන්ටේනරයක බහා එංගලන්තයේ ලන්ඩන් සරසවියට යවා ඇත. ඊට හේතු ලෙස අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ, එය සංරක්ෂණය කිරීමට බවයි. කඳින් හෙළදිවේ ජීවත් වුවත් හිතින් එංගලන්තයේ සිටින පරයින් අපගේ හෙළ ඉතිහාසයෙන් මතුවෙන වසර 35000 ක් පමණ පැරණි පාහියංගල ඇටසැකිල්ලක් පවා එංගලන්තයට යවද්දී කෝච්චි පෙට්ටියක් තියා ගනීවිද? අවසානයේදී අර ඇටසැකිල්ල එතරම් පැරණි නැති බවට කෙප්පයක් ගොතා කීමට ඉඩ තිබෙන අතර, කෝච්චි මැදිරියත් සුද්දන්ගේ කාලයේ එකක් බවට ගල් පැලෙන බොරුවක් කියාවි.

පෙට්ටිපොළදී හමුවූ කෝච්චි පෙටිටිය එංගලන්තයට යැවීමට පෙර කරන ලද පරීක්ෂණ වලට අනුව එය වසර ලක්ෂයකට වඩා පැරණියි. එසේම එය සාදා ඇති ලෝහය මෙතෙක් පෘථිවියේ ඇතැයි හඳුනාගත් ලෝහ වර්ගයක් නොවේ., ඒ අනුව හෙළයින් පිටසක්වල තාක්ෂණය භාවිතා කළ බවට නැවතත් ඔප්පු වෙයි. එසේම පෙට්ටිපොළ භූගතව ඇතැයි සැලකෙන කොච්චි පෙට්ටි අතර කෝච්චි එංජිමක්ද තිබූ අතර වැඩිදුරටත් ස්කෑන් කිරීමේදී, එය වර්තමානයේදී ධාවනය වන කෝච්චි එංජින් මෙන් නොව Mercury Vortex Engine (MVE) භාවිතයෙන් රසදිය යොදා ධාවනය කරන ලද්දක් බව පැහැදිළි විය. නමුත් අපගේ ඒ හෙළ තාක්ෂණය සහමුලින්ම වළලා දැමීමට බලධාරීන් කෲර වූයේ රාවණ රජතුමා කෙරෙහි ඇති ද්වේශය නිසාම නොවන්නේද?

පෙට්ටිපොළ නැමති ප්‍රදේශයේ සිටින වයෝවෘද්ධ ගැමියෙක් වන කළු ආතා නොහොත් හර්මානිස් අප්පුහාමිට අනුව පෙට්ටිපොළ ප්‍රදේශයේ රාවණා රජුට අයත් අබලන් වූ කෝච්චි පෙට්ටි ගාල් කිරීමේ මධ්‍යස්ථානයක් තිබී ඇත. මෙවන් ජනප්‍රවාදයන් ඉබේ ඇති වන්නේ නැත. පෙට්ටිපොළ යන නම දෙස මොහොතකට බලමු. පෙට්ටි+පොළ, යනු කෝච්චි පෙට්ටි නවතා තිබූ පොළ මිස අන් කවරක්ද? (වා+රිය+පොළ යනු දඬුමොණර යාත්‍රාංගනයක් වූවා සේ).

අතීතයේදී මැදිරිගිරිය ප්‍රදේශයේ කෝච්චි නැවතුම් පොළක් තිබූ බව දැන් අනාවරණය වී තිබේ. මැදිරිගිරිය යන්නේ පද නිරුක්තිය වන, මැදිරි=දුම්රිය මැදිරි, ගි=ගිය, රිය=රථය , අනුව එදා දුම්රිය මැදිරි හෙවත් කෝච්චි ගමන් කළ ප්‍රදේශයක් බව තහවුරු වෙයි.

ලොව ඉපැරණිම බස වන්නේ හෙළ බස බවත්, යුරෝපීයයන්ගේ ඉංග්‍රීසි බස පසුව පැමිණි බසක් බවත් ඔබ හොඳාකාරවම දනී. යුරෝපීයයන් විසින් කෝච්චිය හඳුවන්නේ "Coach" යන නමින් වන අතර එය හැදුනේ "කෝච්චිය" යන හෙළ වචනයෙන්ම බව කලින් වාක්‍යය පදනම්ව සිතාගැනීමට පුළුවන. ඒ අනුව සුද්දන්ට පෙර කෝච්චි තිබුණේ හෙළයින්ට බවත් පැහැදිළි වෙයි.

අතීතයේ හෙළ දිවේ පොත් ගුල් වල තිබූ හෙළ පුස්කොලපොත් පෙරළා සිය මව් රටට ‍රැගන ගිය සුද්දන් ඒවායෙන් කෝච්චි තාක්ෂණය සොරාගෙන ඇත. අදටත් ලන්ඩන් කෞතුකාගාරයේ ඇති හෙළ පුස්කොළපොතක් වන කෝමාණශ්‍රාස්ත්‍රයේ රාවණා රජතුමාට තිබූ කෝච්චි තාක්ෂණය ගැන පැහැදිළි කරයි.

කිසිදු පුරාවිද්‍යාත්මක කැණීමකින් රේල් පීලි වල නටඹුන් හමු නොවී තිබීමෙන්, අතීතයේදී රාවණ රජතුමාගේ කෝච්චි ගොස් ඇත්තේ රේල් පීලි වල නොවන බව පැහැදිළි වෙයි. කෝමාණශ්‍රාස්ත්‍රයට අනුව එදා කෝච්චි ගොස් ඇත්තේ පොළොවට අඩියක් පමන ඉහළිනි, ඒ ප්‍රතිගුරුත්ව තාක්ෂණය භාවිතා කිරීමෙනි. ඒ අනුව රාවණ රජතුමාගේ කෝච්චි වල තාක්ෂණය අද පවත්නා සුද්දන්ගේ මෝඩ රේල් පීලි තාක්ෂණයට වඩා ඉතාමත් දියුණුය.

මීට අවුරුද්දකට පමණ පෙර කොච්චිකඩේ ප්‍රදේශයේ තිබී හමුවූ සෙල් ලිපියක දැක්වුණේ "ශර රා දුක ශශප" යන්නයි. එහි හෙළ නිරුක්තිය වනාහී, "ශ්‍රී රාවණ රාජා දුම්රිය කඩය".

දැන් එම සෙල් ලිපිය හමුවූ "කොච්චිකඩේ" යන නමේ නිරුක්තිය බලන්න. කොච්චිකඩේ හැදී තිබෙන්නේ "කෝච්චිකඩේ" යන නමිනි. එනම් රාවණ රජතුමාගේ කාලයේදී කෝච්චි විකුණන කඩයක් එම ප්‍රදේශයේ තිබී ඇත. ඒ බව ප්‍රදේශයේ තාමත් සිටින ඉපැරණි පුද්ගලයින් ජනකතාවක් ලෙස පවත්වාගෙන යයි.


මා හිතවත් මාරයා බ්ලොග් කරුවාගේ මිත්‍ර තාපස තුමෙක් කුණ්ඩලීනී යෝගයට සමවැදී බැලූ කල්හි පෙනී ගොස් ඇත්තේ කොච්චි කඩේ යනු හුදෙක් කෝච්චි නැවතුම් පලක් පමණක් නොවූ බවය. ඔහු පවසන පරිදි එකල මුළු ලෝකයටම කෝච්චි තැනු වේත්, විකිණීම කළෙත් අප හෙළුවන් විසින්ය. කොච්චිකඩේ ලෙස ඉහත දැක්වූයේ අද කොළඹ ලෙස හැඳින්වෙන ප්‍රදේශයේ එකල තිබූ එම කෝච්චි අලවි සැලයි. තවද අලවිය සීග්‍රයෙන් වැඩි වීම නිසා අලවි කටයුතු වල පහසුවට කොච්චිකඩ කිහිපයක්ම හෙළදිවෙහි තැන් තැන් හී පිහිටුවා තිබූ බවත් පැහැදිලි විය. එයින් ප්‍රධාන අලවි සැල වූයේ අප අද මීගමුව අසල කොච්චිකඩය ලෙසින් වහරනු ලබන ස්ථානයට වන අතර කොලඹ කොච්චි කඩය යනු එහි අනු ශාකාවකි. තවද මෙවැනිම වූ කොච්චි කඩ කිහිපයක්ම තැනින් තැන තිබුනද අද වන විට ඒවා තිබූ තැන් අප්‍රකටය. ඉදිරියේදී එම තැන් නැවත සොයා බලා හෙලි කිරීමට අප කටයුතු කරන්නෙමු.

රාවණා රජතුමාගේ සමයේ තිබූ කෝච්චි කඩ වල කෝච්චි අලෙවිය සඳහා සිටි වෙළඳ සේවකයින් වෙනමම විශේෂීකරණය වූ කුලයක් ලෙස හැඳින්වුණි. ඔවුන්ට "කෝච්චි මිනිසුන්" නම් විය. අදටත් ඔවුන්ගෙන් පැවත එන්නෝ සිටින අතර ඔවුහු අද හැඳින්වෙන්නේ "කොච්චි මිනිසුන්" ලෙසටය. ඔවුන්ගෙන් බහුතරයක් කොළඹ කොච්චිකඩේ ප්‍රදේශයේ සිටීමෙන් මෙය තවදුරටත් පැහැදිළි වෙයි.

එසේම වාරියපොළ යන නම නිසාම එය දඬුමොණර ගුවන් තො‍ටුපොළක් ලෙස සැලකීමට හැකිනම්, මම දක්වා ඇති ඊට වඩා වැඩි සාක්ෂි අනුව කොච්චිකඩේ රාවණ රජතුමාගේ කෝච්චි විකිණීමේ කඩයක් තිබූ බව ප්‍රතික්ෂේප කිරීමට නොහැකිය. ප්‍රතික්ෂේප කරන්නන් එහි කෝච්චි කඩයක් නොතිබූ බවට ඇති සෙල් ලිපියක් පෙන්වන ලෙස මා අභියෝග කරමි.

රාවණ රජතුමාගේ කෝච්චි Mercury Vortex Engine (MVE) භාවිතයෙන් රේල් පීළි නොමැතිව පොළොවෙන් අඩියක් පමණ ඉහලින් ගමන් කළ බව කලින් පැවසුවෙමි. විශේෂත්වය වන්නේ ඒවා මහ මග ගමන් කිරීමයි. ජනාකීර්ණ ප්‍රදේශයකට කෝච්චිය පැමිණීමේදී මහ පාරේ සිටින පදිකයින්ව ඉවත් කිරීම සඳහා කෝච්චියේ යන්නන් හයියෙන් හූ තියයි. හූ නාදය අසන පදිකයෝ ඈතින් කෝච්චියක් එන බව දැනගනී. මේ බව ඉපැරණි පුස්කොළපොත් වල සඳහන් වී තිබේ.

අදටත් සුද්දන්ගේ දුම් කෝච්චි වල හූ නාදයක් ඇසෙන්නේ, අපගේ පැරණි හෙළ පුස්කොළපොත් වලට අනුව ඒවා ගොඩ නැගීමේදී නියමාකාරයෙන් MVE හඳුනාගැනීමට නොහැකි වුවත් සම්ප්‍රදායට ගරු කළ යුතු නිසාවෙනි.

අද කාලයේ පවා කෝච්චියේ තියා බස් වල පවා යන කොල්ලන් ජනාකීර්ණ ප්‍රදේශයක් දු‍ටු විට හූ තියන හැටි ඔබ දැක ඇති. ඔවුන් එලෙස හැසිරෙන්නේ ඔවුන්ගේ හෙළ යක් ලේ ධාතුව තුළ අර පැරණි හෙළයින් කෝච්චියේ යන විට හූ තැබූ ආකාරය සටහන්ව ඇති නිසයි. නමුත් නාගරික ලුම්පත් පන්තියට අයත් කොල්ලන් එලෙස නොහැසිරෙන්නේ ඔවුන්ට හෙළයින්ගේ ලේ නොමැති නිසාවෙනි. එනිසා බස් වල කෝච්චියේ යන විට ජනාකීර්ණ ප්‍රදේශ වලදී හූ තියන කොල්ලන් දැක ඔවුන්ට පරිභව නොකරමු.

එසේම අතීතයේ හෙළුවෝ කෝච්චියේ යන විට පාරේ යන මගීන්ට අනතුරු ඇඟවීමට හූ කිව්වා කී ගමන් ඔබට මුවගට සිනහ නැගෙන්නේ එය නුසුදුසු දෙයක් බව සමාජගතවී තිබෙන නිසයි. නමුත් එදා වුන් කිසි සේත්ම කෝච්චි තුළ ගීත ගායනා නොකළ නිසා ඔවුන් දැනගත්තානම් අනාගත පරම්පරාව කෝච්චි වල බස් වල යනකොට සින්දු කියන බව, ඔවුන් බඩ අල්ලාගෙන හිනා වෙනු ඇත.

"අඟරු කකා වතුර බිබී කොළඹ දුවනයකඩ යකා", "උඩරට මැණිකෙට පටකුඩ දෙක දෙක" ආදී ලෙස අවුරුදු දහස් ගණනාවක් අපගේ ජන වහරේ තිබෙන හෙළ සාහිත්‍යය හැදී ඇත්තේ අතීතයේ රාවණ රජතුමාගේ දුම්රිය යන ශබ්දයන් අනුකරණය කරමිනි. නමුත් නිර්ලජ්ජිතව අද බොහෝ උගතුන් යැයි කියාගන්නා මෝඩයින් සිතාගෙන සිටින්නේ මේවා සුද්දන් ගෙන ආ කෝච්චි නිසා බිහි වූ බවයි. සුද්දන් ගෙන ආ කෝච්චි වලින් මිනිසුන්ගේ ලේ ඇට නහර ඇතුළට කිඳා බැස ඇති එවැනි ජනප්‍රවාද බිහි වේවිද කියා වර්ගපූර්ණිකාව බ්ලොග් එක කියවන බුද්ධිමත් ඔබම සිතා බලන්න. කොඩ්‍රින්ටන් නැමැති පර සුද්දාගෙන් ණයට ගත් පරනවිතාන නැමැති කළු සුද්දා ලියූ ඉතිහාසය අපි කිසි සේත්ම පිළිගන්නේ නැත.
ලොව සිටින කිසිදු විද්‍යාඥයෙකුට ඒ සඳහා කිසිදු පැහැදිළි කිරීමක් දීමට නොහැකිව බලා සිටියත් අවසානයේදී නාසා ආයතනයේ දත්ත විශ්ලේෂණ අංශයේ ප්‍රධානී මහාචාර්ය විලියම් හික්ස් (Prof. William Hicks) මහතා පහත දැක්වෙන කරුණු 4 මතු කර පෙන්වන ලද්දේය.
1. මෙම දුම්රිය මාර්ගය මීට වසර ලක්ෂ ගණනකට පෙර ඉදි කරන ලද්දක් වීම.
2. එය වර්තමානයේදී පෘථිවියේ ඇති තාක්ෂණයට සමාන එකක් වීම.
3. එපමණ කාලයකට පමණ පෙර කෝච්චි තාක්ෂණය තිබුණේ ලොව එකම ජාතියකට පමණක් වීම.
4. ඒ කාලයේදී පෘථිවියෙන් අඟහරු ග්‍රහයා වෙත යාමට හැකි වූයේද එම ජාතිකයින්ට පමණක් වීම
ඒ ජාතිය අන් කවරක්වත් නොව හෙළදිවේ සිටින හෙළයින් බවත්, ඉහත දුම්රිය මාර්ගය අඟහරු මත ඉදි කළේ ඒ ශ්‍රේෂ්ට ජාතියට නායකත්වය දුන් රවණා රජතුමා විසින් බවත් එතුමා ප්‍රකාශ කළේය.

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."
 

3 comments:

Unknown said...

supiri machan jathiyata adaraya karana minissunge hithata wadina widiyata liyala tiyenawa obata suba pathum

Unknown said...

thanx mchan

Unknown said...

රාවණා උරුමය නොදත් පර සුද්දන් සහ උන්ට කත් අදින කළු සුද්දන් භංග වේවා! ශ්‍රී රාවණ සිද්ධම්!

Post a Comment