1935 වසරේ නිකුත් වී ඇති විනාඩි 37 ක ලංකාව පිළිබඳ වාර්තා චිත්‍රපටියක් ගැනයි මේ කතාව. "ලංකා ගීතය" (song of ceylon) {මෙතනින් යන්න} නමින් යුතු මේ චිත්‍රපටිය ලංකාව ගැන ඇති පැරණිම උසස් මට්ටමේ වාර්තා චිත්‍රපටිය ලෙසයි සලකන්නේ.
මේ ගැන මම දැන ගත්තේ ලංකා කැමරා සඟරාවකට සිනමාවේදී තිස්ස ඔබේසේකර මහතා විසින් ලිවූ ලිපියකින්. එතුමා පවසන ආකාරයට මීට කළින් කළ ලංකාව සම්බන්ධව කළ රූපගත කිරීම් ගැන සඳහන්ව ඇතත් ඒවා මේ ලංකා ගීතය මෙන් උසස් නිර්මාණයන් ලෙස නොසැලකේ. සිනමාවේදී තිස්ස ඔබේසේකර මහතා, එතුමාට දකින්න ලැබුණු 1904 දී කළ "Ramble Through Ceylon" නැමති මෙවැනිම වාර්තා චිත්‍රපටියක් ගැන පවසා තිබේ. ලංකා ගීතය බැසිල් රයිට් නැමති අයෙකු විසින් නිපදවා ඇත. මහා බ්‍රිතාන්‍යාය් GPO Film Unit මේ චිත්‍රපටියේ නිශ්පාදන සමාගම වී ඇති අතර අනුග්‍රහය දක්වා ඇත‍්තේ Ceylon Tea Propaganda Bureau, Empire Tea Marketing Board යන ආයතන විසින්ය.
මේ මුළු සිනමා සිතුවම ම එදවස සමාජය ගැන වැදගත් තොරතුරු රැසක් ඉදිරිපත් කළ ද මගේ හිත වැඩියෙන්ම ගියේ මේ චිත්‍රපටියේ අවසාන විනාඩි කිහිපයේ ඇති පොළොන්නරුවේ ගල් විහාරයේ දර්ශන කිහිපයක් සඳහාය. පුරාවිද්‍යාත්මක වශයෙන් මෙම කොටසේ ඇත්තේ අනුපමය වැදගත් කමකි. මෙම දුලබ දර්ශන මගින් 1935 දී ගල් විහාරය තිබුණේ කෙසේද යන්න ගැන සජීවී අදහසක් ලැබේ.
ඒ කොටස බලද්දී මට පොළොන්නරුවේ මෑත ඉතිහාසය ගැන අතුරු කතාවක් මතක් උනා.
කැම්පස් එකේ ඉන්න කාලේ "ඡායාරූප ඇසුරින් හෙළිවන පොළොන්නරුව ලෝක උරුම නගරයේ ස්මාරක සුරැකීමේ ස්වභාවය" යන මාතෘකාවෙන් යුතු පුරාවිද්‍යා නිබන්ධනයක් සඳහා පරණ ඡායාරූප රැසක් මම එකතුකර ගත්තා. ඒ අතරට පොළොන්නරුවේ ගල් විහාරයත් ඇතුළත් වුණි. මගේ ඡායාරූප එකතුවේ ඇති ගල් විහාරයේ ස්වරූපය ගැන පැරණිම ඡායාරූපය 1866 - 1870 කාලයේදී ගනු ලැබූවක්. ඒ Joseph Lawton ගේ ඡායාරූප අතරින්ය. ඊට අමතරව ආසන්න කාලයේ මෙරටට ආ විදේශ සංචාරකයින්ගේ වාර්තා මගින්ද වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගත හැකිවිය. මෙම චිත්‍රපටියේ දැක්වෙන 1935 වසර වන විට පොළොන්නරුව ඉංග්‍රීසීන් විසින් සොයාගෙන ගතවී තිබුණේ වසර 115 ක පමණ කාලයකි. 1900 න් පසුව පොළොන්නරු වටදාගෙය ආදී ප්‍රධාන ස්ථාන පුරාවිද්‍යාත්මක්ව සංරක්ෂණය ඇරඹුණු අතර ඒ අනුව ගල් විහාරය අවට ප්‍රදේශයත් සංරක්ෂණය කර ඇත. G. E. Mitton විසින් 1916 දී දැක තිබුණේ මෙතැනට ආ බෞද්ධයන් සැතපෙන පිළිමයේ මුහුණ හා දෙපතුල් ජලයෙන් සේදූ බවයි. (ලංකාවේ නටබුන් නගර, පරිවර්තනය සරත්චන්ද්‍ර ජයකොඩි) නමුත් මේ චිත්‍රපටියේ සිටින වන්දනාකරුවා එවැන්නක් නොකරයි. කලින් තිබු එම සිරිත 1935 වන විට වෙනස් වී ඇති බව සිතිය හැකිය. එස්. ටී. නිහාල් සිං විසින් ලිවූ "Ceylon new and old" කෘතියේ 1928 දී ගත් මෙම ස්ථානයේ ඡායාරූපයකින් චිත්‍රපටියේ ඇති කාලයට සමකාලීනව මෙම ස්ථානයේ ස්වරූපය දැකගැනීමට හැකිය. නමුත් මේ චිත්‍රපටියේ ඇති කාලයට වසර 4 කට පසුව, එනම් 1939 දී මෙම ස්ථානයට ආ ඩබ්ලිව්. ටී. කීබල් පවසන්නේ වනයේ හුදකලා වී තිබු මෙම විහාරයේ පොල්තෙල් පහනක් පවා දැල්වූයේ කලාතුරකින් බවයි. (පුරුදු පාර, පරිවර්තනය පේමචන්ද්‍ර අල්විස්) ඔහු දුටු එම හුදකලා බව මෙම චිත්‍රපටියේද දැකගත හැකිය. මගේ නම් අදහස තහඩු ආවරණ නොතිබුණු එදා ගල් විහාරය අදට වඩා හොඳ බවයි....
එමෙන්ම හිටි ප්‍රතිමාවේ හිසේ කොටසක්ද නැත. (අද මෙම කොටස ප්‍රතිසංස්කරණය කර ඇත)
සෙසු කොටස් වලින්ද එදවස සමාජය ගැන වැදගත් තොරතුරු රැසක් හෙළිදරව් වේ..........
No comments:
Post a Comment