468x60 Ads

Friday, June 15, 2012

සීලව තෙරුන්ගේ ගාථා




සීලව තෙරුන් ගේ ගාථා.....

මේ බුදුසසුනේ පුහුණු කරන්ට ඕනෑ සීලයමයි. මේ ජීවිතයේ දී හොඳට සිල් රැක ගත්තොත් සියළු සම්පත් ලැබෙනවා.

නුවණ තියෙන කෙනා සිල් රකින්ට ඕනෑ සැප තුනක් බලාගෙන. ඒ තමයි ප්‍රසංශාව, ධන ලාභය, වගේම සුගතියේ ඉපදිලා සතුටු වීම.

සිල් රකින කෙනාගේ සංවර ජීවිතය නිසා එයාට ගොඩක් හොඳ මිතුරන් ලැබෙනවා. ඒ වුණාට දුශ්ශීල කෙනා පාපී ක්‍රියා නිසා හොඳ මිතුරන් ගෙන් ඈත් වෙනවා.

දුශ්ශීල කෙනා ලබන්නේ ගැරහීමත්, අපකීර්තියත් විතරයි. සිල්වත් කෙනා හැම තිස්සෙ ගුණ කථාවත් ප්‍රශංසාවත් ලබනවා.

මුලින්ම පිහිට වෙන්නෙ ශීලයයි. ශීලය කියන්නෙ යහපත් ගතිගුණවලට අම්ම කෙනෙක් වගේ දෙයක්. සියළු ගුණ ධර්ම වල ප්‍රමුඛයා ශීලයයි. එනිසා ශීලය පිරිසිදුව තබා ගන්ට ඕනෑ.

සිත මහ මුහුද නම් ශීලය වෙරළයි. සතුටත් සංවරයත් ලබාදෙන ශීලය හැම බුදුවරුන්ගේම පුන්‍ය තීර්ථයයි. ඒ නිසා ශීලය පිරිසිදුව තියෙන්නට ඕනෑ.

ශීලය කියන්නෙ අසහාය බලයක්. උත්තම ආයුධයක්. ලස්සන ආභරණයක්. අද්භූත ඇඳුමක්.

ශීලය කියන්නෙ මහේශාක්‍ය පාලමක්. අති උතුම් සුවඳක්. දස දිශාවටම හමාගෙන යන ශ්‍රේෂ්ඨ සුවඳ විලවුන් කියන්නෙ ශීලයටයි.

ශීලය කියන්නෙ ගමනක් යන කෙනෙකුගේ රසවත් බත් මුලක්. උතුම් ගමනකට හොඳ වියදමක්. දස දිශාවේ ගමන් කළ හැකි හොඳ වර්ගයේ වාහනයක්.

ජීවිතය නපුරු කර ගත්තොත් මේ ජීවිතයේදීම නින්දා ලැබෙනවා. පරලොවදී ත් අපායෙ ඉපදිලා දුක් විදින්ට සිදුවෙනවා. ශීලයක් නැති, එකඟ වූ සිතක් නැති, අඥාන පුද්ගලයා හැම තැනකදීම දුකට ගොදුරු වෙනවා.

ජීවිතය යහපත් කර ගත්තොත් මේ ජීවිතයේ දී ම කීර්තිය ලැබෙනවා. පරලොව දී සුගතියේ ඉපදිලා සතුටු වෙනවා. සිල් රැකලා සිත එකඟ කර ගෙන නුවණ ලබාගත් කෙනා හැම තැනකදීම සතුටු වෙනවා.

මේ ශාසනයේ ශීලය අග්‍ර දෙයක්. නමුත් උතුම්ම දෙය ප්‍රඥාවයි. මිනිසුන් අතරත් දෙවියන් අතරත් ශීලයත් ප්‍රඥාවත් යන දෙකෙන් ජය ලබන්ට පුළුවනි.

මේ වනාහී අයුෂ්මත් සීලව නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන් ය.

ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා (ථේර ථේරී ගාථා) - පූජ්‍ය කිරිබක්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ


No comments:

Post a Comment