468x60 Ads

Friday, June 15, 2012

ථේරවාධි බුදුසමයේ කේන්ද්‍රස්ථානය පළමු කොටස

'
 
 
 ♠♠♠ ථෙරවාදී බුදුසමයේ කේන්ද්‍රස්ථානය ♠♠♠
පූජ්‍ය ඌරුගමුවේ අස්සජි හිමි විසිනි

අනුරාධපුරයේ ආරම්භය ක්‍රි.පූ. 6 වැනි සියවස තෙක් ඈත අතීතයට දිව යයි. විජය රජු ගේ ඇමතියකු වූ “අනුරාධ” නමැත්තා ස්වකීය නාමය මුල්කොට ගෙන “අනුරාධ ගාම” නමින් ග්‍රාමයක් ඉදි කළේය. එයට වසර කිහිපයකට පසුව තවත් “අනුරාධ” නම් කුමරෙක් වාසස්ථානයක් හා වැවක් ද තනාගෙන එහි ම විසුවේ ය.

අනුරාධ ග්‍රාමයේ ආරම්භය ගැන කරුණු දක්වන මහාවංසය “අනුරාධ” නම් කුමරුන් දෙදෙනෙකුට වාසභූමිවීම, “අනුරාධ” නම් නැකතින් ඉදිකරවීම යන කරුණු සඳහන් කරයි. 11 වැනි ශත වර්ෂය මුල දී සිංහල රාජ්‍යය සොළීන්ට යටත් වන තෙක්ම කෙටි කාලයක් හැරුණු විට සෑම රජකුගේම වාසස්ථානය වූයේ අනුරාධපුරය යි. එබැවින් එය එදා ශ්‍රී ලංකාවේ අගනුවර ද වූයේය.

පැරණි අනුරාධපුර නගරය ප්‍රදේශ වශයෙන් කොටස් කිහිපයකට බෙදිය හැකි වෙයි. එනම්, ඇතුළුනුවර මහා විහාරය, අභයගිරි විහාරය, ජේතවනාරාමය දකුණු පෙදෙස බටහිර පෙදෙස හා නැගෙනහිර පෙදෙස යනුවෙනි. මෙයින් “ මහා විහාර” ප්‍රදේශයේ ආරම්භය සිදුවූයේ ක්‍රි.පූ. 246 දී ය. මිහිඳු මහරහතන් වහන්සේ අනුරාධපුරයට වැඩම කිරීමෙන් පසු දවනපෑතිස් රජු විසින් ධර්මදූතයන් වහන්සේලා හා සතර දිගින් වැඩමකරන මහසඟරුවන උදෙසා වාසස්ථානයක් ලෙස “මහමෙවුනා උයන” පූජා කරන ලදී. මහින්දාගමනයෙන් සිව් වන දිනයේ දී දෙවනපෑතිස් රජු එම ශුද්ධ භූමියේ සීමා ලකුණු කර දක්වා බිම සකස් කොට මහසඟනට අවශ්‍ය එක් එක් ගොඩනැගිලි තැනවීම ඇරඹීය. එසේ ඉදිකර වූ ආරාම සමූහය අයත් ප්‍රදේශය “ මහා විහාරය” නමින් ඉතිහාසයට එක්විය. “ නන්දන වන හෙවත් “ජෝති වන “මහා මේඝ වන” යන උද්‍යාන ප්‍රදේශ මහා විහාරයට අයත් වේ. ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි මහා සෑය, ලෝවාමහාපාය, මිරිසවැටිය , යන ශ්‍රේෂ්ඨ සිද්ධස්ථාන මහාමේඝ උද්‍යානයේ ද, ථූපාරාමය ජෝති වනෝද්‍යානයේ ද පිහිටියේය.

පෙරදිග ලෝකයේ ථෙරවාදී බුදු සමය පැතිරවීමේ දී ප්‍රමුඛත්වය ගෙන ඇත්තේ මහා විහාරයයි. ශ්‍රී මහා බෝධියත්, රුවන්වැලි මහා සෑයත් අයත් නිසා මහා විහාරයට අනෙකුත් ආරාමයන්ට වඩා ඉහළ පූජනීය තත්ත්වයක් අයත් විය. තව ද මිහිඳු මහරහතන් වහන්සේ වැඩ විසූ ස්ථානයක් වීම මෙම තත්ත්වය වඩාත් තීව්‍ර කරන්නක් විය.

දෙවනපෑතිස් රජු විසින් අනුරාධපුරයෙහි පළමුකොට පිහිටුවන ලද මහා ආරාමයට බෙහෙවින් උචිත පරිදි “මහා විහාරය” යන වචනය ව්‍යවහාර කළ බව මහාචාර්ය වල්පොළ රාහුල හිමියෝ පෙන්වා දෙති. (ලක්දිව බුදු සමයේ ඉතිහාසය , 316 පිට) ගොඩනැගිලි වශයෙනුත්, නේවාසික භික්ෂු මහා සංඝයා අතිවිශාල වූ බැවිනුත්,” මහාවිහාරය” නමින් මෙය ව්‍යවහාරයට එක් වූ බව ඒ අනුව පැහැදිලි ය. ලක්දිව පිහිට වූ ආදිම ආරාමය “ මහා විහාරය” බව වංසකතා වාර්තාවලින් ද පෙනේ. එය මහා විහාර නමින් හැඳින්වීමට හේතු වූ තවත් ප්‍රධාන කරුණු කිහිපයක් මෙලෙස පෙන්වා දිය හැකිය.

1. ලක්දිව පළමුවෙන්ම පිහිට වූ සියල්ලටම වඩා ප්‍රධාන වූ ශ්‍රේෂ්ඨ වු පූජනීය වූ ආරාමය වීම
2. ආර්ය උතුමන්ගේ වාසස්ථානය සඳහා යෝග්‍ය වීම
3. තුන් යොදුන් මහා සීමාවක් සම්මත කරමින් විශාල භූමි ප්‍රමාණයක් ආරාමය සඳහා වෙන් කිරීම
4. ලොකු පන්සලක්, මහත් වූ විහාරයක්, අරාමයක් යන අදහස මුල්කර ගැනීම

මෙම කරුණුවලට අමතරව භූගෝලීය වශයෙන් හැඳින්වූ කිසියම් ස්ථානයක් නිසා එම නම තැබූ බවක් නොපෙනේ.

එසේම මහාවිහාර නාමය ඇරඹෙන්නට ඇත්තේ අභයගිරිය තැනීමෙන් පසුව බව සිතීම ද යුක්ති සහගතය. දෙමළ සටනින් පැරදී පලා ගිය වළගම්බා රජු “ ගිරි” නම් නිගණ්ඨාරාමය අසලින් පලා යද්දී එහි වූවෝ රජුට විහිළු තහළු කළහ. කවදා හෝ අනුරපුරය ජය ගන්නෙමු ද එදාට මෙහි විහාරයක් කරවමියි, සිතා ගත් රජු වෙස්සගිරියට ගොස් එහි සැඟවුණි. එහි දී රජු ප්‍රධාන පිරිසට අවවාද අනුශාසනා හා ආරක්‍ෂාව සපයමින් රැක ගත්තේ “මහාතිස්ස” තෙරුන් වහන්සේය. එයට පෙරළා උපකාර කිරීමට සිතූ රජු අනුරපුරය ජය ගැනීමෙන් පසු ගිරි නිගණ්ඨාරාමය බිඳ දමා එහි අභයගිරිය තනා උන්වහන්සේට පිදීය. මෙය මහාවිහාරිකයන් ගේ හෙවත් මහාවිහාරවාසි භික්ෂූන් වහන්සේලාගේ බලය සසල වූ අවස්ථාවකි. එම නිසා මහාවිහාරවාසීහු තිස්ස තෙරුන්ට “පබ්බාජනීය කර්මය” කළහ.මේ අතර මහාවිහාරවාසි භික්ෂූන් වහන්සේලාට යටත්ව මෙතෙක් සමගිව සිටි සංඝයා අනුක්‍රමයෙන් භේද විය. පිරිසක් අභයගිරිකයෝ වූහ. පිරිසක් මහාවිහාරිකයෝ වූහ. “විනයගරුක නිර්මල ථේරවාදය රකින භික්ෂූන් වාසය කරන්නේ මෙහි ය. උතුමන් වාසය කරන්නේ මෙහි ය. මෙය ලක් අඟනගේ රුවන් ඔටුන්න හා සමානය” යනාදි වශයෙන් පොතපතේ සඳහන් විග්‍රහ අනුව පෙනී යන්නේ අභයගිරියෙන් වෙන්කොට හෙළදිව මුල්ම ආරාමය හඳුන්වනු කැමති එදා සිටි භික්ෂූහු තිස්සාරාමය ප්‍රධාන ආරාම මහා විහාරය යනුවෙන් නම් කළ බව යි. අටුවා ඇදුරන් මෙම නමේ නිර්මාතෘවරුන් ලෙස ද සඳහන් කිරීමට හැකි ය.

මූලාශ්‍රය: බුදුසරණ පුවත්පත 2012/06/04
 

No comments:

Post a Comment